දුගී මරණ වෙනුවෙන් මිනී පෙට්ටි පිනට දෙන දියණිය මියගිය රිස්වාන් - lankaenewsGossip

දුගී මරණ වෙනුවෙන් මිනී පෙට්ටි පිනට දෙන දියණිය මියගිය රිස්වාන්

ෂේක් හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන් මීට වසර නවයකට පෙරාතුව දූ සිඟිත්තියන් දෙදෙනකුගේපියෙකි. ෂේක් හලාල්ඩීන් ෂිහාරා බේගම් දියණිය ඩෙංගු මාරයාට බිලිවූ පසු මොහොමඩ් රිස්වාන් උගත්පාඩම වූයේ මරණය කිසිවිටකදී මිඩංගු කළ හැකි යමක් නොවේ යන්නය. තමන් අත, ඇතිපදම් මුදල් සහ බලයගැවසුණද දියණියගේ ජීවිත ඉරණම සඳහා අලගු තැබීමටවත් ඒවා ප්‍රමාණවත් නොවූ කල: රිස්වාන් තීරණය කරනු ලබන්නේ අල්පේච්ඡතාව මත ජීවිතය පවත්වාගෙන යන්නටය. 

සිය විසල් ව්‍යාපාරය අත්හැර දමන රිස්වාන් එදිනෙදා ජීවත්වීමට පමණක් සෑහෙන මුදලක් උපයන්නෙක් වේ. එම මුදලින්ද යමකුට සරණක්, පිහිටක් විය යුතු යැයි තීරණය කරන රිස්වාන්, මියගිය ඈයෝ කෙරෙහි ගෞරවය පෙරදැරිව ඔහුගේ හෝ ඇයගේ දෙණ සඳහා ඇවැසි පෙට්ටිය ලබාදීමට උත්සුක වේ. උත්සාහය පලදරනු ලබයි.

ප්‍රිය මිත්‍රවරුනි! ඔබ මෙතැන් සිට කියවන්නේ රිස්වාන්ගේ එම උත්සාහය තුළ සැඟව පැවැති උත්සාහය සමඟ එක පලෝලේ ගිය කරුණු කාරණාය. මොහොමඩ් රිස්වාන් කෙබඳු මනුෂ්‍යයකු දැයි එම කරුණු කාරණා ඔබට පවසා සිටී. විශේෂයෙන් වයිරස 19ක එකතුව “කොවිඩ් - 19” ලෙස මනුෂ්‍යත්වය හෑල්ලුවට ලක් කරන මෙවන් මොහොතකදී..... අපි ෂේක් හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන්ට සවන් දෙමු.


“මගේ පියා ෂේක් හලාල්ඩීන්. මව පාතිමා කුෂ්රා. අපි ඉන්දියානු සම්භවයක් ඇති පෙළපතක නියෝජිතයන්. සාමාන්‍ය මුස්ලිම්වරු ලෙස බහුතරයක් දෙනා දෙමළ භාෂාව කතා කළත් අප භාෂාව විධියට භාවිත කරන්නේ උර්දු. ඉතිහාසයේ කියන විධියට ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශයෙන් තමයි අපේ ආදිතමයෝ ලංකාවට පැමිණිලා තිබෙන්නේ.

මම ප්‍රාථමික අධ්‍යාපනය කොළඹ 12, හමීඩියා හුසේන් විද්‍යාලයෙන් ලබාගත්තා. නීති විද්‍යාලයට සහ උපරිමාධිකරණයට යාබදවයි හමීඩියා හුසේන් විද්‍යාලය පිහිටා තිබුණේ. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා මම මරදාන සහිරා විද්‍යාලයට ඇතුළත් වුණා.


මූලික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා මම ඉගෙනීම කළේ සිංහල මාධ්‍යයෙන්. සහෝදරයන් හතරදෙනෙක්ගේ එකතුවෙන් සෑදුණු අප පවුල කොළඹ නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයන්. අපේ පවුලට ඥාතීත්වයක් ඇති ශරීරා බේගම් සමඟ 2002 වර්ෂයේදී විවාහ වෙනවා. ෂේක් හලාල්ඩීන් ශිහාරා උපදින්නේ එම වර්ෂයේ. ඇය ඩෙංගු රෝගය නිසා මිය යනවා ඒ ඇයට වයස අවුරුදු 9ක් සපුරන විටදී. ඇයට බාල තව එක් දියණියක් මට සිටිනවා.මගේ දුව භුමදානය කළ මොහොත තමයි මගේ ජීවිතය වෙනස් කළේ. දරාගන්න බැරි දුකක් උපන්නා. ඒ දුක මැදින් මම තේරුම් ගත්තා, දුක යම් පමණකට හෝ පහකර ගත හැක්කේ කෙසේද කියා. නමුත් අදටත් මගේ දුව මගෙන් සමුගත් ඒ මොහොත මට විස්තර කරන්න නොහැකියි. දරුවා වෙනුවෙන් සමාජයට යහපතක් සිදුකළ යුතුයි කියන අදහසින් මම දුක තුනීකර ගත්තා.

ඒ වනවිට මම සාර්ථක ව්‍යාපාරිකයෙක්. එක් මොහොතක් තුළ මගේ ව්‍යාපාර සියල්ල මම අත්හැර දැමුවා. ජීවත්වීමට යමක් ඉපයීම පමණයි මම එදා සිට සිදුකළේ. ඔය කාලවකවානුවේදී තමයි කොළඹ රතු, සුදු පල්ලිය ඉදිකරන්න ගත්තේ. මම එම පල්ලියේ ඉදිකිරීම් අංශයේ අවුරුදු හයක් සේවය කළා.

පල්ලිය ඉදිකර අවසන් වුණාට පසු එදිනෙදා ජීවත්වීමට මුදලක් ඉපයිය හැකි දේවල් රැකියාව ලෙස සිදුකළා. මගේ දුවගේ වියෝවයි..... මේ මාරාන්තික කොරෝනා වයිරසයයි මට දැනෙන්නේ එකම විධියට.

අම්මලා, තාත්තලාට දුවා දරුවෝ අහිමි වෙනවා. දුවා දරුවන්ට අම්මලා තාත්තලා අහිමි වෙනවා. මුළු කොළඹ නගරයම විසාලා මහනුවරක් බවට පත්වෙලා. එදිනෙදා ජීවත්වෙන්න අවශ්‍ය පහසුකම් පවා කොළඹ නගරයට තදාසන්නව ජීවත්වෙන මිනිසුන්ට ලැබෙන්නේ නැහැ.


මට වුවමනා වුණා, මට හැකි අයුරින් මේ ආකාරයට අසරණ වෙලා ඉන්න මිනිසුන්ට උදවු කරන්න. බලන බලන හැම අතකම මරණ බිය. මම මගේ දුව දිහා බලාගෙන ඒ මරණ බිය අත්දැක්කා..... ඒක වින්දා.

මම හිතුවා මගේ දුව වෙනුවෙන් මේ ආකාරයට අසරණ වෙලා ඉන්න මිනිසුන්ට පිහිට විය යුතුයි කියලා.තවත් කෙනෙක්ට පිහිටක් විය හැකි සවිමත් ආර්ථිකයක් මට නැහැ. මම ලාභ උපයන්නෙක් නොවෙයි. ඒ නිසා

මම නොයකුත් පදනම්, දානපතීන් මුණගැසිලා කොවිඩ් වයිරසය මුල්කරගත් මරණවලට යම් උපකාරයක් කරන ලෙස ඉල්ලීම් කළා.


විශේෂයෙන් එම දේහයන් ආදාහනය කිරීම සඳහා අවශ්‍ය මිනීපෙට්ටිය. නමුත් එම නොයකුත් පදනම්, දානපතීන් තමන්ගේ අරමුණ සකසා ගෙන ඇති ආකාරය ගැන මම සතුටු වුණේ නැහැ. මට තිබෙන්නේ ඒ පිළිබඳ විවේචනයක්.ඒ අයගේ සහ මගේ මත ප්‍රතිවිරුද්ධයි. මට වුවමනා වුණා අසරණ මනුස්සයෙක් මිය ගියාට පසු ඔහුගේ

දෙණ ගෞරවනීය අවසානයක් දක්වා රැගෙන යන ව්‍යාපෘතිය පිරිසුදුව සිදුකරන්න. මිනී පෙට්ටියක් ලාංකිකයන් හැමෝටම නොමිලේ ලබාදිය යුතුයි කියන තිර අදිටනයේ මම සිටියා. මරණයකට ජාති හෝ ආගම අදාළ වන්නේ නැහැ. මුස්ලිම්, සිංහල, දෙමළ සියලුමදෙනාට පොදුවේ මනුෂ්‍යයන් විධියට මරණය කියන්නේ පොදු ධර්මතාවක්. නමුත් මුස්ලිම් සමාජය මිනී පෙට්ටියක් හැම වෙලාවකදීම පිළිගන්නේ සිංහල සංස්කෘතියේ නිර්මාණයක් විධියට.මමත් මුස්ලිම්වරයෙක් නිසා මට මුලින්ම කරන්න සිදුවුණේ එම මතය සමඟ සටන් කිරීම. මම මිනී පෙට්ටි නොමිලේ ලබාදනේන ගත්තේ එවැනි පසුබිමක. මුල් අවස්ථාවේදී සිදුවූ මරණයක් වෙනුවෙන් මිනී පෙට්ටියක් නොමිලේ ලබාදෙන්න මගේ මුදලින් රුපියල් 30,00ක්-40,000ක් වගේ මුදලක් වියදම් වුණා. ඒක සාමාන්‍ය ආර්ථිකයක් ඇති අයෙක්ට දරන්න බැරි වියදමක්.


මට වුවමනා වුණේ ගෞරවනීය අවසානයක් දක්වා පුද්ගලයෙක් රැගෙන යන්න. නමුත් රුපියල් 30,000ත් 40,000ත් අතර මුදල මගේ උත්සාහය යම් පමණකට ව්‍යර්ථ කළා. මට පමණක් නොවෙයි මේ ආකාරයට මිනී පෙට්ටියක් නොමිලේ ලබාදෙන්න සිතන ඕනෑම අයෙක්ට එවැනි මුදලක් වියදම් කරන්න බැරි ප්‍රායෝගික ගැටලු කාරණා තිබෙනවා. මට ඒ අවබෝධය ලැබුණා.  ඊට පසුව මම මිනී පෙට්ටි සැකසීම කර්මාන්තයක් ලෙස සිදුකරන පුද්ගලයන් හමුවීමට ගියා. විශේෂයෙන් මොරටුව වගේ ප්‍රදේශවල. ඔවුන්ගේ මිනී පෙට්ටි සැකැස්ම මම අධ්‍යයනය කළා. මිනී පෙට්ටියක් හදන්න භාවිත කරන ලී වර්ග මොනවාද? ඒවායේ වෙළෙඳපොළ වටිනාකම කොපමණද කියා අවබෝධයක් ලබා ගත්තා.

සාමාන්‍ය මිනී පෙට්ටියක සැකැස්ම පොඩ්ඩක් හෝ වෙනස් වුණොත් මූලික වියදමට රුපියල් 3,000ක් 4,000ක මුදලක් එකතු වෙනවා. උදාහරණයක් ලෙස පෙන්වා දුන්නොත් පෙට්ටියේ සැකිල්ලට එක ලීයක් පාවිච්චි කරනවා නම් ඒ සඳහා ලී එකහමාරක් වැය කරන්න බැහැ. එහෙම වුණොත් ලී දෙකකට යන වියදම වැය වෙනවා.

ඔය ආකාරයට මම බොහොම අඩු වියදමකින් මිනී පෙට්ටියක් නිර්මාණය කළා. ඒ සඳහා වැය වන මුදල රුපියල් 7,200ක්. ඒ මිනී පෙට්ටිය පියන් විවෘත කළ හැකි සාමාන්‍ය මිනී පෙට්ටියක්. මුස්ලිම් සහෝදරයන් ඔවුන්ගේ මරණ සඳහා භාවිත කරන්නේ මීට වඩා වෙනස් මිනී පෙට්ටියක් නිසා ඒ සඳහා උචිත සම්පූර්ණ සීල් (සංවෘත මිනී පෙට්ටියක්) මිනී පෙට්ටියකුත් මම නිර්මාණය කළා. විශේෂයෙන් යම් වයිරස් ආසාදන මරණයකදී සිංහල, මුස්ලිම්, දෙමළ ඕනෑම ජන කොටසකට එම පෙට්ටිය පොදුවේ භාවිත කළ හැකියි. ඒ සඳහා වැයවුණු මූලික පිරිවැය රුපියල් 6,250ක්.

යම් මරණයක් නම් එයට නිසි ගෞරවය ලැබිය යුතුයි. අසරණ පුද්ගලයන්ගේ මරණ ඉලක්ක කරගෙන නොමිලේ ලබාදෙන්න මම නිර්මාණය කළ මිනී පෙට්ටිය මුස්ලිම් සමාජය භාර ගත්තේ ආදාහනය කරන්නට හැකි අයුරින් මම එම මිනී පෙට්ටිය නිර්මාණය කළා කියා. මුල් අවස්ථාවේදී එවැනි නිවැරැදි නොවන මත සමඟ මට සටන් කරන්න සිදුවුණා.


රුපියල් 6,250ක පිරිවැයකින් මම නිර්මාණය කළ සීල් මිනී පෙට්ටිය වැනි මිනී පෙට්ටියක් තමයි යුරෝපයේ කොරෝනා මරණවල අවසන් කටයුතු සඳහා භාවිත කරන්නේ. ආදාහනයද භූමදානයද යන තර්කය මුස්ලිම් සමාජය ඇතුළෙන් මතුවුණේ මෙවැනි වටපිටාවකදී. ලංකාව තුළ මම දකින විදියට සංස්කෘතිය තමයි ආගම බවට පත්වෙලා තිබෙන්නේ. එය වැරැදියි. මම පෞද්ගලිකව විශ්වාස කරනවා සංස්කෘතිය හා ආගම කියන්නේ මාර්ග දෙකක් කියලා. ආදාහනය සහ භූමදානය මුස්ලිම්වරුන් පටලවා ගත්තේ මෙම දැනීම නොමැති නිසා. වඩාත් නිවැරැදිව පවසා සිටියහොත් අප ගෙවා දමමින් සිටින කාලය කොයි වගේ කාලයක්ද යන අවබෝධය අපට තිබිය යුතුයි. මම මගේ අදහස් ගොනු කරන්නේ සාම්ප්‍රදායික මුස්ලිම්වරයෙක් විධියට නොවෙයි. සිංහල, මුස්ලිම්, දෙමළ කොයි ජනවර්ගයක මිනිසුන් අතරත් සාම්ප්‍රදායික උදවිය සිටිනවා. නැවතත් මම කියන්නේ සිංහල, මුස්ලිම් කියන්නේ සංස්කෘතීන් දෙකක්. නමුත් මරණය ඒ සංස්කෘතීන් දෙකටම පොදුයි. මෙවැනි ගැටලුවකට පිළිතුරු ලබාදිය හැක්කේ එක්සත් ලංකාවක් බිහිකිරීම තුළින්. එයයි මගේ තේමාව. සාමාන්‍ය මුස්ලිම් සමාජයේ විරෝධය මැද තමයි මම මේ තේමාව වෙනුවෙන් මගේ මුළු ජීවිත කාලයම

කැප කළේ. මම යෝජනා කරන්නේ සිංහල, මුස්ලිම් සංස්කෘතීන් දෙකේ සම්මිශ්‍රණයක් ඇති විය යුතුයි කියා. ලංකාවේ සිංහල, මුස්ලිම්, දෙමළ මිනිස්සු ආදි කාලයේ සිට කොයි කොයි ජනවර්ග සමඟ එකතුවී තමන්ගේ පැවැත්ම සකසා ගත්තාද යන්න පැහැදිලි නැහැ.


බොහොම සරලව කිව්වොත් අපි සිංහල කතා කරන්නේ, තව කෙනෙක් දෙමළ කතා කරන්නේ පතාගෙන ආ පරිදි නොවෙයි. අප ඉපදුණු තැන සහ එහි සංස්කෘතියයි එහිදී ප්‍රධාන වන්නේ. එම අවබෝධය ලබා ගත්තොත් එහි කෙළවර වන්නේ සමාජයේ අපි හැමෝම මිනිස්සු පමණක් යැයි තේරුම් බේරුම් වීමෙන්. මුස්ලිම් සමාජයේ ඇතැමුන් මට බලපෑම් කළා මා නිර්මාණය කරන මිනී පෙට්ටි නොමිලේ සිංහල අයට ලබාදෙන්න එපා කියා. සිංහල සමහර අයත් පෙරළා ඒ යෝජනාවම මට ඉදිරිපත් කළා. අසරණකම ඉදිරියේ සිංහල, මුස්ලිම්, දෙමළ කියන කාරණය වැදගත් වන්නේ නැහැ.


යම් අසරණ මනුෂ්‍යයෙක් වෙනුවෙන් ග්‍රාම නිලධාරිවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා ඉදිරිපත්වී ඔහුට නොමිලේ මිනී පෙට්ටියක් ලබාදිය යුතු යැයි යෝජනා කරනවා නම් මම ඒ යෝජනාව බොහොම කැමැත්තෙන් පිළිගන්නවා. මට වුවමනා පෙර සඳහන් කළ පරිදි අසරණ මනුෂ්‍යයකුගේ අවසන් ගමන ගෞරවනීය විධියට සිදුකිරීම. තව උදාහරණයක් කියන්නම්, යම් මරණයක් කොළඹ ජාතික රෝහලේදී සිදුවුණා නම් එතැනදී මරණයේ පාර්ශ්වකරුවෝ ජාති, ආගම් වෙනස හොයනවා. නමුත් අයි.ඩී.එච්. රෝහලේදී එම මරණය සිදුවූවා නම් එවැන්නක් සොයන්නේ නැහැ. මෙතැනදී වැදගත් වන කාරණය තමයි ඕනෑම දර්ශනයක ශාස්තෘෘවරයෙක් ඔහුගේ දර්ශනය ඉදිරිපත් කළේ

සීමිත ජන කොටසකට නොවන බව. නබිතුමා ඔහුගේ දර්ශනය කියා දුන්නේ මුස්ලිම්වරුන්ට පමණක් නොවෙයි. බුදුන් වහන්සේගේ දර්ශනය කියා දුන්නේ සිංහල අයට පමණක් නොවෙයි. ඕනෑම දර්ශනයක් තුළ යම් ගැටලුවකට සාධාරණ පිළිතුරක් තිබෙනවා.

යම් විටකදී එම පිළිතුර එකවර ලබාදිය නොහැකියි. සිංහල අය පාලි භාෂාව නොදන්නා තරමට මුස්ලිම් අය අරාබි භාෂාව දන්නේ නැහැ. බොහොම සරලව පවසා සිටියහොත් සමාන්තර දර්ශනයන් පිළිබඳ නිසි අවබෝධයක් අපට තිබිය යුතුයි. මෙම මිනී පෙට්ටි නොමිලේ ලබාදීමේ හැකියාව මම ලංකාව පුරා ව්‍යාප්ත කරන්න උත්සාහ ගන්නවා. මටවුවමනා නොමිලේ ලබාදෙන නිසාම බාල යමක් මිනිසුන් අතට පත් කිරීම නොවෙයි. අප නොමිලේ ලබාදෙන දෙය ලබාගන්නාගේ හිත සුව පිණිස විය යුතුයි.

තවත් මොහොමඩ් රිස්වාන්ලා සියයක් ලංකාව පුරා බිහි කරන්න මට හැකි වුණොත් අසරණ මිනිසුන් මරණයක් වැනි අවස්ථාවකදී තවදුරටත් අසරණ වන්නේ නැහැ. මිනී පෙට්ටිය නොමිලේ ලබාදීමෙන් පමණක් මම සෑහීමකට පත්වන්නේ නැහැ. සිංහල මරණයකදී නම් හත් දවසේ දානය, සංග්‍රහ කටයුතු, සැරසිලි සඳහා වියදම් වැනි දෑ ගැනත් අවධානය යොමු විය යුතුයි. එවැනි තත්ත්වයකට මෙම ව්‍යාපෘතිය රැගෙන ඒමයි මගේ අරමුණ. ඒ සඳහා මට වුවමනායි මොහොමඩ් පෙරේරාලා, ශංකර් පෙරේරාලා, රිස්වාන් රණසිංහලා, ශංකර් රණසිංහලා පිරිසක්. ඔවුන්ට මම කියන්නේ පූජනීය වැඩ, ව්‍යාපාරික මුහුණුවරකින් තොර විය යුතුයි කියා”.ෂේක් හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන් මට වැටහෙන පරිදි ඔහුගේ අවසන් කෘත්‍ය කටයුතුවලදී පල්ලියෙන් ලබාදෙන තූම්බියද, පන්සලේ මතක බණද අහිමිකර ගත්තෙකි. නමුත් ෂේක් හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන්සැබෑ මනුෂ්‍යයෙකි.




කතාව - පින්තූර - ප්‍රභාත් අත්තනායක

No comments

Powered by Blogger.