බිරිය හා දරුවන්ගේ හදිසි මරණ වලින් ජීවිත ධෛර්යය උපයාගෙන ජනපති දක්වා ගිය බයිඩෙන් - lankaenewsGossip

බිරිය හා දරුවන්ගේ හදිසි මරණ වලින් ජීවිත ධෛර්යය උපයාගෙන ජනපති දක්වා ගිය බයිඩෙන්

 එක්සත් ජනපදයේ අලුතින් 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජෝ බයිඩෙන් ලබන 2021 ජනවාරි 21 වනදා දිවුරුම් දීමට නියමිතය. ඔහු මින් ඉහත සේවය කළේ (2008-2016) කීර්තිමත් ජනපති බැරක් ඔබාමාගේ උප ජනපති ලෙසිනි.

ජෝ බයිඩෙන් දේශපාලනයට ඒමට පෙර නීතිඥයෙකු ලෙස කෙටි කලක් කටයුතු කළේය. ඔහු ජීවිතයේ අවස්ථා දෙකකදී විශාල පසුබෑම් වලට ලක්වූයේ බිරියගේ හා දරුවන්ගෙ හදිසි මරණ නිසාය.ඔහු අවස්ථා දෙකකදී ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය ලබාගන්නට උත්සුක වූ නමුත් සාර්ථක වූයේ නැත. අවසානයේ තුන්වන වාරයේ ඔහුට
අපේක්ෂකත්වය හිමිවූ අතරම ඔහු වැඩිම ඡන්ද ලබමින් ජනපති සටනද විජයග්‍රහණය කර තිබේ. මේ ඔහුගේ කතාවය.

බයිඩෙන් - 1942 නොවැම්බර් 20 වන දින උපත ලැබීය - හැදී වැඩුණේ ඊසානදිග පෙන්සිල්වේනියාවේ ස්ක‍්‍රැන්ටන්හිය. ඔහුගේ පියා ජෝශප් බයිඩෙන් පාවිච්චි කළ මෝටර් රථ අලෙවිකරුවෙකු ලෙස ව්‍යාපාර කළ අයෙකි. ඔහුගේ මව ඉයුජීනියා කැතරින් ය. ඔවුහු අයර්ලන්තයෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ කතෝලික පවුලකින් පැවත එති. බයිඩෙන්ට සොයුරන් දෙන්නෙකු හා සොයුරියක සිටී. දුෂ්කරතාවයන් විඳීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම ගැන ඉගැන්වූ නිසා බයිඩෙන් තම දෙමාපියන්ට ගෞරව කරයි.
බයිඩන් යනු අප්‍රමාණ පීඩනයන් හමුවේ නොපසුබට උත්සාහය නිසා මතුවුණ චරිතයකි. 
බයිඩෙන් ස්ක‍්‍රැන්ටන්හි ශාන්ත පාවුළු මූලික පාසලින් මුලින් අධ්‍යාපනය ලැබීය. ඔහුට වයස අවුරුදු 13දී පවුල පිටින් ඩෙලවෙයාර්හි මේෆීල්ඩ් වෙත පදිංචියට යන්නට සිදුවිය.බයිඩෙන් එහිදී ශාන්ත හෙලේනා පාසලට ඇතුළත් විය.
කුඩා කාලයේ දී බයිඩෙන් දඟකාර ළමයෙකි. ඇතැම් මිතුරන් ඔහුව හැඳින්වූයේ "ඩෑෂ්"යනුවෙනි. නමුත් ඔහු පන්තියේ පිරිසක් ඉදිරියේ කතාබහට ලජ්ජා චරිතයක් විය. මේ නිසා මිතුරන්ගේ සමච්චල් කිරීමට ඔහු ලක්විය. නිවසේ කැඩපතක් ඉදිරියේ  කාව්‍ය ඡේද කටපාඩම් කර හඩනගා කියවීමෙන් එම බාධා ඉවත් කරගත් හැටි ඔහු පසු කලෙක විස්තර කර තිබේ.
කෙට්ටු උස සිසුවෙකු වූ බයිඩෙන් පාසලේදී ක්‍රීඩාවට දක්ෂයෙකුද විය පාපන්දු පිටියේ ඔහු කැපී පෙනුණි.
ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය සහ දේශපාලන විද්‍යාව පිළිබඳව බයිඩෙන් උපාධියක්ද ලබා ගත්තේය
ඔහු සරසවියේ සිය පළමු වසර දෙක අධ්‍යායාපනයට උනන්දුවකින් කටයුතු කළ නමුත් පසුව පාපන්දු, ගැහැණු ළමයින් සහ පක්ෂ දේශපාලනය ගැන  උනන්දු වූ බවත් පවසා තිබේ.
ඇමරිකානු හිටපු ජනපති ජෝන් එෆ් කෙනඩි ඔහුගේ වීර චරිතයක් වූ බව කියැවේ. බයිඩෙන් ඩෙලවෙයාර් උපාධිය ලැබීමෙන් පසු සිරකූස් නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරූවේය. නීති ශිෂ්‍යාවක වූ නීලියා හන්ටර් එහිදී ඔහුට මුණගැසී1966 දී විවාහ දිවියට ඇතුළත් වූයේය.
1968 දී නීති විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු බයිඩෙන් විල්මින්ටන් වෙත ගියේය. ඩෙලවෙයාර්හිදී, නීති ආයතනයක පුහුණුවීම ආරම්භ කිරීමට ඔහුට උවමනා විය. 
මේ කාලයේ ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයෙකු වූ ඔහු 1970 දී මැතිවරණයකට මුල්වරට ඉදිරිපත් විය.
කාසල් කවුන්ටි කවුන්සිලයේ මන්ත්‍රිවරයකු ලෙස සේවය කරමින් සිටියදී 1971 දී බයිඩෙන් ඔහුගේම නීති ආයතනයක් ආරම්භ කළේය.
ඔහුගේ කාර්යබහුල වෘත්තීය ජීවිතය පසෙකින් තිබියදී ඔහුගේ පවුලට දරුවන් තිදෙනෙකුද එකතු විය.
බියු(උපත 1969 දී), හන්ටර් (1970 දී ) සහ නයෝමි (උපත 1971) ඔහුගේ දරුවන් විය.

1972 දී බයිඩෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් පස්වන ළාබාලතම එක්සත් ජනපද සෙනෙට් සභිකයා ලෙස තේරී පත් විය.

බයිඩෙන්ගේ සිහින සැබෑ වනවා සේම දැවැන්ත පරාජයන්ද ඔහුගේ ජීවිතයේ විය. ඔහුගේ මුළු ජීවිතයම කණපිට හැරිය පෙරළිය ඇතිවන්නේ මේ කාලයේය. 1972 නත්තලට සතියකට පෙර බයිඩෙන්ගේ  බිරිඳ සහ දරුවන් තිදෙනා දරුණු රිය අනතුරකට ලක්ව
විනාශකාරී ඛේදවාචකයට ගොදුරු විය.  
 නත්තල් සාප්පු සවාරියේ යෙදී සිටියදී සිදුවූ අනතුරින් ට්‍රැක්ටරයකට යටවූ ඔහුගේ බිරිඳ හා දියණිය මිය ගියහ. ඔහුගේ පුතුන් දෙදෙනාට බරපතල තුවාල සිදු විය.
බයිඩෙන් නොසන්සුන් වූ අතර මේ නිසා ඇතිවූ වේදනාව නිසා සියදිවි නසා ගැනීමට උත්සාහ කරන සිතිවිලි වලට යොමුවූ බවද පසුව කියා තිබේ.
මෙම කලබලය නිසා ඔහු වොෂිංටන්හි නව සෙනෙට් සභිකයින් සඳහා දිවුරුම් දීමේ උත්සවයද මඟ හැරුණි
ඒ වෙනුවට දිවුරුම් දුන්නේ ඔහුගේ පුතුන්ගේ රෝහල් කාමරයෙහිදීය. තම දරුවන් සමඟ හැකි තරම් කාලයක් ගත කිරීමට බයිඩෙන් තීරණය කළේය.

1973 සිට 2009 දක්වා බයිඩෙන් විශිෂ්ට සෙනෙට් වෘත්තියක නිරත විය. සෙනෙට් සභාවේ සිටි කාලය තුළ බයිඩෙන් එහි ප්‍රමුඛයා ලෙස ගෞරවය දිනා ගත්තේය. විදේශ ප්‍රතිපත්ති විශේෂඥයින් හමුවෙමින් විදේශ කමිටුවේ සභාපති ලෙස කළ සේවය ඔහුට අනාගත රටේ නායකයකු වීමට අඩිතාලම පාදන ලදි.
සෝවියට් සංගමය සමඟ උපාය මාර්ගික ආයුධ සීමා කිරීම වෙනුවෙන් පෙනී සිටීම, බෝල්කන්හි සාමය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම, නේටෝව පුළුල් කිරීම, ගල්ෆ් යුද්ධ පාලනය,  ඩාර්ෆූර්හි ජන සංහාරය වැනි කටයුතු වලදී ඔහු ඇමරිකානු ජනපති වෙනුවෙන් පෙනී සිටිමින් දැවැන්ත වැඩ කොටසක් ඉටු කළ අතරම අත්දැකීම් රැසක්ම ලබාගත්තේය.
විදේශ ප්‍රතිපත්තියට අමතරව බයිඩෙන් ප්‍රසිද්ධියේම වැදගත් යෝජනා රැසක් සෙනෙට් සභාවට ගෙන ආ අයෙකි.

ඇමරිකාවේ ජනපතිවරණයට අපේක්ෂකයින් තෝරන්නේ ඒ ඒ පක්ෂයක අභ්‍යන්තරය තුළ ජනපද මට්ටිමින් සිදු කරන අපේක්ෂක තරග වලින් ජයගන්නා අයෙකුය.
1987 දී ජනාධිපති ධුරය වෙනුවෙන් ඩිමොක්‍රටික් ප්‍රාථමික වටයට තරග කරන්නට බයිඩෙන් සූදානම් වූයේය. නමුත් අවාසනාවට ඔහුට එම තරග වටය අතරතුර රෝග තත්වයක් ඇති විය. මේ නිසා ඔහු ඩිමොක්‍රටික් ප්‍රාථමිකයෙන් ඉවත් විය.
බයිඩෙන් දැඩි හිසරදයකට ගොදුරු විය. 1988 දී ඔහුට මොළයෙන් ඇතිවන සංකූලතා මත ඔහුගේ පෙණහලුවල රුධිර කැටි ගැසීම් ඇති වූ අතර ශල්‍යකර්ම මගින් ඔහු යථාතත්වයට පත්වනතුරු මාස 7 ක් සියලු කටයුතු වලින් ඈත්ව සිටීමට සිදුවිය.
මාස හතක සුවය ලැබීමේ කාලයෙන් පසුව බයිඩෙන් නැවත සෙනෙට් සභාවට පැමිණියේය.
වසර 20 කට පසුව 2007 දී, ඔහු නැවත වරක් එක්සත් ජනපද ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට දෙවනවරටත් තීරණය කළේය. 
නමුත් හිලරි ක්ලින්ටන් විසින් ආධිපත්‍යය දරනු ලැබූ ක්ෂේත්‍රය තුළ ඔහුට අවස්ථාවක් නැතිව ගියේය.
බරක් ඔබාමා වැඩි නැඹුරුවක් දැක්වූයේ හිලරි කෙරෙහිය. තීරණාත්මක අයෝවා හි ඡන්දය සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් ලැබීමෙන් පසු බයිඩෙන් තරගයෙන් ඉවත් විය.
කෙසේ වෙතත් ඒ වනවිට බයිඩෙන් සතු ශක්තිය ඔබාමා අවබෝධ කරගෙන සිටියේය. මාස කිහිපයකට පසු ඔහියෝ සහ පෙන්සිල්වේනියා වැනි ඡන්ද පදනම සලකා බැලූ ඔබාමා ඩිමොක්‍රටික් පක්ෂය ආරක්ෂා කර ගන්නට බයිඩෙන් නැතිව බැරි චරිතයක් බවට පත්විය.
2009 දී ඔබාමා 44 වන එක්සත් ජනපද ජනාධිපති ලෙස දිවුරුම් දුන් පසු බයිඩෙන් උප ජනාධිපති විය.
බයිඩෙන් වැඩිපුරම සේවය කළේ තිරය පිටුපස උපදේශකගේ භූමිකාවකය. මේ නිසා ඔහුගේ නම දන්නෙ දන්නා අය පමණක් විය.
කවුරුත් අගය කළ ඔබාමා සමයේ විදේශ ප්‍රතිපත්තිය පසුපස සිටි චරිතය වූයේ බයිඩන්ය.

2012 දී  ඔබාමාට නැවත තේරී පත්වීම සඳහා පාර කපන්නට බයිඩන් විශාල කාර්යභාරයක් ඉටු කළේය. මැතිවරණ ඡන්දයෙන් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් ඔබාමා ලබාගත් අතර ජනප්‍රියත්වය නොනැසී පැවතිණි. ඒ අනුව නැවත වරක් බයිඩෙන් ඔබාමාගේ උප ජනපති විය.
මේ කාලය වන විට බයිඩෙන් ද ජාතිකත්වයේ ප්‍රමුඛ චරිතයක් බවට පත්විය. රටේ ප්‍රචණ්ඩත්වය මැඩලීම රුසියාව හා චීනයෙන් එල්ලවන පීඩනය ආදි කරුණු බයිඩෙන්ගේ ඉහළ තීරණ හමුවේ වැළකී ගිය අයුරු ඔබාමාගේ ප්‍රශංසාවටද ලක්විය.

බයිඩෙන් පළමු බිරිය මියයාමෙන් පසු දරුවන් හැදීම තනිව කරන්නට උත්සුක වූයේය. නමුත් එය පහසු කටයුත්තක් නොවුණ තැන 1977 සිට ඔහුගේ දෙවන බිරිඳ ජිල් බයිඩෙන් සමඟ විවාහ දිවියකට ඇතුළත් විය. එම යුවළගේ දියණිය ඇෂ්ලි 1981 දී උපත ලැබීය. 2015 මැයි 30 වන දින බයිඩෙන්ගේ වැඩිමල් පුත් බියු වයස අවුරුදු 46දී මොළයේ පිළිකාවකින් මියයාමේ දුකද විඳදරාගත්තේය. ඔහුට
ඉතිරිව සිටින්නේ බාල පුතු හන්ටර් සහ බාල දියණිය ඇෂ්ලි පමණි. හන්ටර්ද මත්ද්‍රව්‍යයට ඇබ්බහිව ජීවිතය විනාශ කරගත් අයෙකු විය.
මෙම ඛේදවාචකයෙන් පසුව, බයිඩෙන් ජනාධිපති ධුරය සඳහා තුන්වන වරටත් මතුවූ සිහිනයේ ඵල නෙළාගන්නට උත්සාහ කරන්නේය.
2017 ජනවාරි 12 වන දින ජනාධිපති ඔබාමා විසින් බයිඩෙන් ප්‍රශංසාවට ලක් කළ කතාව ඩිමොක්‍රටික් පක්ෂයේ කතාබහට ලක්වූ එකකි.  බයිඩෙන් "ඇමරිකාවේ මෙතෙක් සිටි හොඳම උප ජනාධිපතියි. ඔහු සිංහයෙක්" ඔබාමා කීවේය.
සිය ජනපති සටන කල් ඇතිව ආරම්භ කළත් ඔහු ප්‍රතිපත්ති වල එල්ලී සිටියේය. ඔහු ඉඳහිට 45 වන ජනාධිපතිවරයා වූ ට්‍රම්ප් විවේචනය කිරීමට යොමු විය. 2017 ඔක්තෝබර් උත්සවයකදී ඔහු කියා සිටියේ  “ට්‍රම්ප්ට පාලනය කරන්න තේරෙන්නේ නැත”  යන්නයි.
ඩිමොක්‍රටික් පක්ෂ අභ්‍යන්තර ඡන්ද වලදී ඊළඟ නායකයා ලෙස ඔහු ඉදිරියෙන්ම සිටියේය.
2019 අප්‍රියෙල් 25 වන දින බයිඩෙන් තමා තරග කරන බවට අපේක්ෂිත පුවත නිල වශයෙන් ඉදිරිපත් කළේය

ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය 2020 පෙබරවාරි 5 වන දින පැවති අතර ඔහු එයින් නිදොස් කොට නිදහස් කළ නමුත් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය එන්න එන්නම හීන වෙමින් පැවතිණි. ජනපද මට්ටමින් පැවති ජනමත සමීක්ෂණ වලදී බයිඩෙන්ට බොහෝ අය කැමති බවට ප්‍රතිචාර ලැබිණි.
2020 අගෝස්තු 11 වන දින බයිඩෙන් කමලා හැරිස් තම දෙවැනියා ලෙස නිවේදනය කළේය. මෙම නිවේදනය පසුපස තිබුනේ ට්‍රම්ප්ගේ ජාතිවාදී ඡන්ද ව්‍යාපාරයට පහරකි.
බයිඩෙන් සහ ට්‍රම්ප් අතර පළමු ජනාධිපති විවාදය 2020 සැප්තැම්බර් 29 වන දින පැවති අතර එය අවුල් සහගත විය.
ට්‍රම්ප්ගේ අනවශ්‍ය බාධා කිරීම් සහ ඉක්මණින් මාතෘකාවෙන් බැහැර කතා නිසා එයින් වාසියක් ලබාගන්නට බැරිවිය.
වික්ෂිප්තවූ බයිඩෙන්ට දෙවරක් තම ප්‍රතිවාදියා “විහිළුකාරයෙක්” ලෙස හැදින්වීමට සිදුවිය.
දෙවන විවාදය ඔක්තෝබර් 15 දින පැවැත්වීමට නියමිතව තිබුණද ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව
ඔක්තෝබර් 22 වන දින පැවති තුන්වන විවාදය අතරතුර ට්‍රම්ප්ගේ බාධා නැවත මතුවිය. බයිඩෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කරන විට බාධා කිරීම් වලට මුහුණ දුන්නේය. සෞඛ්‍ය සේවා, සංක්‍රමණ නීති , හරිත රැකියා ගැන මෙන්ම ට්‍රම්ප්ගේ අසාර්ථක කොරෝනා කළමනාකරණය ගැන හොඳ තර්ක ගෙන ඒමට බයිඩෙන් සමත්විය.
මෙම සියලු කාරණා වලින් පසු ජනපතිවරණ තරගයද සිතූ තරම් නිරවුල් වූයේ නැත. තරගය අතරතුර පවා ට්‍රම්ප් විවිධ කතා කියමින් මැතිවරණය නීතියට පටහැණි බවට කෑගැසුවේය.
මැතිවරණ දිනට දින හතරකට පසු 2020 නොවැම්බර් 7 වන දින බයිඩෙන් ජනපති ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
පෙන්සිල්වේනියාව ජයග්‍රහණය කිරීමෙන් පසු 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. 
වාර්තාගත ඡන්ද මිලියන 74 ක් ඔහු සතුවිය.
 "කළයුතු කාර්යය අපට ඉදිරියෙදී අමාරු වනු ඇත, නමුත් මම ඔබට මෙය පොරොන්දු වෙමි.ඔබ මට ඡන්දය දුන්නත් නැතත් සියලුම ඇමරිකානුවන් සඳහා මම ජනාධිපති වෙමි. ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය සුරකිව තබාගනිමි."
ඇමරිකාවේ නව ජනපති ජෝ බයිඩෙන් සිය විජයග්‍රහණ කතාවේදී කියාසිටියේය.



No comments

Powered by Blogger.