කොරෝනා සුවවී නිවසට පැමිණි තරුණයා වෙරි මතේ ගුටිබැට හුවමාරුවකින් මරුට - lankaenewsGossip

කොරෝනා සුවවී නිවසට පැමිණි තරුණයා වෙරි මතේ ගුටිබැට හුවමාරුවකින් මරුට

 කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා ගෙදර පැමිණි තරුණයකු මිතුරන් පිරිසක් සමග පෙරේදා (4) රාත්‍රී පදම ඉක්මවා මත්පැන් පානය කර වෙරි මතේ ගුටිබැට හුවමාරුවකට එක්වී බරපතළ තුවාල ලබා මිය ගොස් ඇති බවත්, දෙදෙනකු තුවාල ලබා ආඩිමුනෙ රෝහලට හා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් උඩප්පුව පොලිසිය කියයි.  මෙසේ මිය ගොස් ඇත්තේ උඩප්පුව කොට්ඨාස හතරේ විසු කනගලිංගම් රමේෂ් (22) නමැති අවිවාහක තරුණයෙකි. ඔහුගේ අයියා වන කනලිංගම් ශ්‍රී කාන්තන් (29) තුවාල ලබා හලාවත රෝහලටත්, තවත් අයකු ආඩිමුනෙ රෝහලටත් ඇතුළත් කර ඇති බවත් කියයි.

මිය ගිය කනගලිංගම් රමේෂ් කොරෝනා රෝගියකු වශයෙන් හඳුනාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර නිරෝධායනයට ලක්කිරිමෙන් පසු සුවය ලබා  මෙයට දින තුනකට කලින් සිය නිවෙස වෙත පැමිණි බවත් පොලිසිය කියයි. පසුව ඔහු තම අයියා හා තවත් මිතුරන් දෙදෙනකු සමග ආඩිමුනෙ හි පිහිටි අවන්හලකට ගොස් පදම ඉක්මවා මත්පැන් පානය කර පෙරළා සිය නිවෙස බලා පැමිණ ඇති බවත් කියයි

ඒ එන අතර උඩප්පුවේ කාලි දේවාලය අසල දී මෙම මිතුරන් පිරිස අතර බහින්බස්වීමක් සිදු වී ගුටිබැට හුවමාරුවක් ඇති වී ඇති බවත් එහිදී ආරක්ෂිත හිස්වැසුමකින් පහර කා පසුව පිහි ඇනුමකට ද ලක්ව තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් එහිදී කොරෝනා රෝගයෙන් සුවය ලබා ආ අය මිය ගිය බවත් කියයි.  මෙම සිද්ධිය සම්බන්ධ සැකකරුවන් මේ වනවිට සිය නිවාසවලින් අතුරුදන්ව ඇති බවත් කියයි. උඩප්පුව පොලිසිය පරික්ෂණ සිදු කරයි.


 -ඔගස්ටින් ප්‍රනාන්දු-


No comments

Powered by Blogger.