සුනාමියෙන් අතුරුදන්වූ පුතා හමුවූවැයි කී සමන්තුරේ කාන්තාව කරේ බොරුවක්ලු - lankaenewsGossip

සුනාමියෙන් අතුරුදන්වූ පුතා හමුවූවැයි කී සමන්තුරේ කාන්තාව කරේ බොරුවක්ලු

 දැනට දින කිහිපයකට පෙර සමන්තුරේ කාන්තාවක් විසින් සුනාමියෙන් අතුරුදන්වූ පුතා නැවත පැමිණි බවට ප්‍රකාශ කිරීම වැරැදි බව දරුවාගේ මව වන නුරූල් ඉෂාන් ජුනයිදීන් මහත්මිය ඊයේ (01දා) සමන්තූර් පොලිස් ස්ථානයේදී පැවසුවාය.

සුනාමියෙන් අතුරුදන්වූ තම පුතා වසර 16කට පසුව නිවසට පැමිණි බව මෙම කාන්තාව මාධ්‍යයට පවසා තිබූ අතර, පසුව මාධ්‍ය මඟින් මෙය ප්‍රචාරය වීමෙන් පසුව පුතා හදාවඩාගත් මව මේ පිළිබදව සමන්තුරේ පොලීසියට පැමිණිලි කර තිබේ. පසුව සමන්තුරේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ජයලත් මහතා විසින් මෙම පැමිණිල්ල විභාග කළ අතර, දරුවාගේ නියම මව විසින් දරුවාගේ සියලු තොරතුරු පොලීසියට ඉදිරිපත් කළද දරුවාට අයිතිවාසිකම් කියන මවට එවැනි තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබේ.

සමන්තුරේ පොලිස් ස්ථානයේදී ළමයාගේ නියම මව කියන නුරූල් ඉෂාන් ජනයිදීන් මෙසේ අදහස් දක්වුවාය.

"මගේ දරුවා මට හමු වුණේ අම්පාර මහා රෝහලේදී. දරුවා ලැබෙන්න ඉන්න කාලයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය පැවැත්වූ සායනවලට මම සහභාගි වුණා. ඒ සියලු ලිඛිත තොරතුරු මා සතුව තිබෙනවා. මගේ පුතා ඉපදුණේ 2001/04/19 වෙනි දින. කුඩා කාලයේ ඉඳන් දරුවා හැදුවේ මම. මගේ ස්වමියා මා අතැර ගියත් මම දරුවා හදාගත්තා. ඔහු පළමු වසරට ඇතුළු කළේ අම්පාර සද්ධාතිස්ස මහා විදුහලට පසුව මම වෙනත් විවාහයක් කරගෙන හම්බන්තොටට ගියා. පුතා එහිදී හම්බන්තොට සුවි ජාතික පාසලට ඇතුළත් කළා. දෙවැනි කසාදයේ ස්වාමියාත් දරුවාට සලකන්නේ නැති නිසා මම නැවත වරක් දරුවා අරගෙන අම්මා ළඟට ගියා. නැවත වතාවක් දරුවා අම්පාර සද්ධාතිස්ස මහා විදුහලට ඇතුළත් කළා. පස්සේ සාමන්‍ය පෙළ විභාගය දක්වා ඒ ස්කොලේ ඉගෙන ගත්තා.


පසු කාලයකදී කාන්තාවක් අපේ ගෙදරට අවස්ථා කිහිපයක් ආවා. රාජ්‍ය නොවන සංවිධානයක් හැටියට ආවා. විවිධ ආයතන මට්ටමින් ආවා, රැකියා දෙන්න කියලා ආවා. පස්සේ මේ කාන්තාව කිව්වා මේ දරුවා මගේ කියලා. පස්සේ අම්මයි මමයි එයාට බැන්නා. පස්සේ ගෙදරින් ගියා. පස්සේ ටික කාලයකින් පසුව ඇවිත් කිව්වා

මම දරුවට රැකියාවක් හදල දෙන්නම් කියලා දරුවගේ සහතික ඉල්ලන් ගියා. එහෙම ගිහින් පණිවිඩයක් එව්වා. සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා සමන්තුරේ කාත්තාව. ඒ වෙනකොට පුතා හිටියේ කොළඹ. පස්සේ පුතා කෙළින්ම ඒ ගෙදර හොයාගෙන ගියා. එහාට ගියාට පස්සේ මේ කාන්තාව එයාගෙ පුතා ආවා කියලා ගමේ හැමෝටම කිව්වා. ඒ අය ඇවිත් දරුවා බලල තියෙනවා. ඒ අතරේ මාධ්‍යවේදීන් ඇවිත් මේක වීඩියෝ කරලා ප්‍රසිද්ධ කරල තියෙනවා. මේක සම්පූර්ණ බොරුවක්. පුතා ඒ කාත්තාවගේ ගෙදරට ගියේ රක්ෂාවට යන්න නමුත් සිදුවුණා වෙතින් දෙයක්. මේ තත්වය නිසා අද අපි අසරණ වෙලා ඉන්නවා. මම මේ පිළිබඳව සමන්තුරේ පොලීසියට පැමිණිලි කරා. දැන් ඒ පිළිබද පරික්ෂණ ආරම්භ කරලා තියෙනවා. මේ මගේ පුතා. ඒක මට ඉරහඳ වගේ විශ්වාසයි.”


අපරාද කොටිඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ උපදෙස් මත සමන්තුරේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. ජයලත් මහතා විසින් පරික්ෂණ ආරම්භ කර තිබේ. දැනට තිබෙන තොරතුරු අනුව දරුවා සොයා ගත්තා යැයි කියන මවට කිසිම ලිඛිත සාධකයක් නැති අතර දරුවා හදාගත් මව ළඟ ඉපදීමට පෙර ගත් ලිඛිත සාක්ෂි ඇති බව පොලිසිය තහවුරු කරගෙන තිබේ. මේ පිළිබදව සමන්තුරේ අධිකරණයට කරුණු වාර්තා කරන පරික්ෂණයට මව සහ දරුවා යොමුකිරීමට පොලීසිය පියවර ගනිමින් සිටියි.



- වසන්ත චන්ද්‍රපාල -


2 comments:

  1. Take a DNA test then there is no conflict

    ReplyDelete
  2. Issue is why this son claims that fake lady is his real monther ?

    ReplyDelete

Powered by Blogger.