බාහිර සමාජයේ දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා - 55ක් නිරෝධායනයට:දිවුලපිටිය සහ මිනුවගොඩට පොලිස් ඇඳිරි නීතිය - lankaenewsGossip

බාහිර සමාජයේ දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා - 55ක් නිරෝධායනයට:දිවුලපිටිය සහ මිනුවගොඩට පොලිස් ඇඳිරි නීතිය

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොවිඩ්-19 ආසාදිත බව හඳුනාගෙන මේ වන විට IDH රෝහලට ඇතුළත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.


මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යවන අවස්ථාවේදී සිදු කරන ලද PCR පරීක්ෂණයකදී කොවිඩ්-19 ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇති බව වාර්තා විය.
ඒ අනුව, ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු, අදාළ කාන්තාව සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 40 දෙනෙකු පමණ නිවාස නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන තිබෙයි.

පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආශ්‍රිතව පසුගිය කාලය පුරා කොරෝනා ආසාදිතයින් වාර්තා වුවද
අද (ඔක්තෝබර් 4 ට පෙර) බාහිර සමාජයෙන් අවසන්වරට ආසාදිතයෙකු හමු වූයේ පසුගිය අප්‍රේල් මස 30 වන දිනය.
මෙම කාන්තාවට කොවිඩ්-19 ආසාදනය වූ ආකාරය පිළි බඳ දැනට විමර්ශනය කෙරෙන අතර තවම ඒ කෙසේදැයි හඳුනාගෙන නැත.

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරිනීතිය පනවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 ආසාදිත වූ කාන්තාවක් හඳුනාගැනීමත් සමග එම පියවර ගෙන තිබේ.

මේ අතර මීට සුළු මොහොතකට පෙර දැනුම් දී තිබුණේ, ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා තිබුණු බවය.

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 කාන්තාවක් හඳුනාගැනීමත් සමග එම පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙම සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වේ.

ඊට අමතරව මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල, ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම ගම්මාන ඉදිරියේ දී හුදකලා කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කළේය. 


No comments

Powered by Blogger.