අද යාපනයේ එළවළු විකුණන ප්‍රභාකරන්ගේ බොඩිගාඩ්. - lankaenewsGossip

අද යාපනයේ එළවළු විකුණන ප්‍රභාකරන්ගේ බොඩිගාඩ්.

ප්‍රභාකරන් එල්.ටී.ටී.ඊ. යේ නායකත්වයට පත්වූ පසු ආරක්ෂාව වෙනුවෙන් ඔහුට විශ්වාවන්තම තරුණයින් පිරිසක් පත්කර ගෙන ඇත්තේ පුහුණුවීම් ලබාදීමෙන් පසුවය.

ආරක්ෂක කටයුතු සැලසීමට තෝරාගත්තේද හොඳ කාය ශක්තියක් තිබූ තරුණයින්ය. ප්‍රභාගේ ආරක්ෂාවට පත්කරගත් ඒ තරුණයන්ද තම නායකයාගේ ආරක්ෂාව ගැන නිරන්තරයෙන් සොයා බලා ඇත.  එල්.ටී.ටී.ඊ. යට එරෙහිව ආරක්ෂක අංශ දැඩි පියවර ගත් පසු ප්‍රභාකරන් 1,000 ක පමණ කොටි සෙබළුන් පිරිසක් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පත් කරගෙන තිබේ.

ප්‍රභාකරන්ගේ ආරක්ෂකයින්ට ඒ හා සම්බන්ධව කමාන්ඩෝ පුහුණුවීම් ලබාදී ඇත. ප්‍රභාකරන්ගේ ආරක්ෂාව බාරව වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමෙන් පසු එම ඒකකයට කලින් කලට නායකයින්ද පත්කරගෙන තිබිණි.

1996 වසරේ සිට 2007 වසර දක්වාම ප්‍රභාකරන්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කරන්නේ සෙල්වරාජා දේවකුමාර් හෙවත් රඝු නමැත්තාය. රඝු කියන නම ඔහු එල්.ටී.ටී.ඊ. යට බැඳුණු පසු ලබා දුන් නමය.

එක් පාදයක වළලුකර ළඟින් කැඩීයාම නිසා ආබාධිත තතත්වයට පත්වූවාට පසු ප්‍රභාකරන්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි තනතුරෙන් ඔහුට ඉවත්වීමට සිදුවිය.
ඒ තනතුරින් රඝු ඉවත්වුවත් ඔහු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් ලෙස දිගටම කටයුතු කර ඇත.

වන්නි මානුෂීය මෙහෙයුම අවසානයේ පැවැති වකවානුවේ රඝු සාමාන්‍ය වැසියන් අතරේ සැඟවී රජයේ පාලන ප්‍රදේශයට පැමිණ ඇත.

වවුනියාව රාමනාදන්පුර අවතැන්වූවන්ගේ කඳවුරක රඝු සිටියේ තමා ප්‍රභාකරන්ගේ ප්‍රධාන ආරක්ෂකයා කියන එක සඟවාගෙන සාමාන්‍ය පුද්ගලයකු වශයෙනි. ප්‍රභාකරන්ගේ ප්‍රධාන ආරක්ෂකයා වශයෙන් සිටි රඝුව හඳුනාගෙන ඇත්තේ එවකට උතුරු පළාත් ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා යටතේ පැවැති බුද්ධි අංශයේ එවකට පොලිස් පරීක්ෂක නිලයේ සිට ඒ.ජේ. සුල්පිකාර් මහතා විසිනි.

ඒ පොලිස් පරීක්ෂක සුල්පිකාර් මහතාගේ පෞද්ගලික ඔත්තුකරු ලබාදුන් තොරතුරක් අනුව කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි.

පොලිස් පරීක්ෂක සුල්පිකාර් මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතාට මේ බව දැනුම්දීමෙන් පසු පොලිස් බාරයට ගෙන තිබේ. පොලිස් බාරයට ගත් පසු ප්‍රභාකරන් ගැන බොහෝ කරුණු කාරණා මෙන්ම   යුධෝපකරණ තොග පිටින් සඟවා ඇති ස්ථාන ගැන දැන සිටියේය.

ඒ බව රඝුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූවා පමණක් නොව ඒවා තොග වශයෙන් සොයා ගැනීමටද ඒ වකවානුවේ පොලිසියට හැකිවී ඇත. ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා එවකට පොලිසියේ සිටි සෑම අතින්ම දක්ෂ නිලධාරියෙක් ලෙස ප්‍රසිද්ධව සිටියේය. නැගෙනහිර පළාතේ එවකට ප්‍රබලව පැවැති එල්.ටී.ටී.ඊ යේ  ක්‍රියා මැඩලීමට ලෙව්කේ මහතා පොලිසියේ විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරියා ලෙස සුවිශේෂී මෙහෙවරක් ඉටුකර ඇත.
ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් විදෙස් පුහුණුවීම් ලබා ඒ හා සම්බන්ධයෙන්ද විශේෂඥ දැනුමක් හා පුළුල් අවබෝධයක් ලෙව්කේ මහතාට තිබේ.

ලෙව්කේ මහතාගේ නාමය පොලිස් ඉතිහාස පොතේ ලියවී ඇත්තේ 30 වසරක් පුරා පැවැති එල්.ටී.ටී.ඊ. ය මැඩලීමට නොබියව නායකත්වය ලබාදුන් රණශූරයකු ලෙසය.  පොලිසියේ ඔහුගේ සේවා කාලයට වසර 40 කි.  විශ්‍රාමික ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා සමග ප්‍රභාකරන්ගේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස සේවය කළ රඝු ගැන මෙන්ම ඔහුගෙන් හෙළිදරව් කරගෙන සොයාගත් ආයුද තොග ගැනද කතා බහ කළෙමු.

මේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හඬයි.

“රඝු ගැන ප්‍රභාකරන්ගේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස හඳුනාගත්තේ මා යටතේ සේවය කළ එවකට පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ සිටි සුල්පිකාර් නිසයි. මේ බව දැන ගත්තට පස්සෙ රඝු අපේ බාරයට ගත්තා. රඝු අපේ බාරයට ගන්න අවස්ථාව වන විටත් ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියා. ඒ නිසා අපි නියමු රහිත යානාවලින් ලබාගත් ගුවන් ඡායාරූපය රඝුට පෙන්වමින් ප්‍රභාකරන් සැඟව සිටින ඉසව්ව සොයා ගැනීමට ලොකු උත්සාහයක් ගත්තා. ඒ වන විටත් ප්‍රභාකරන් ලොකු මිනිස් පවුරක් ඉදිරියෙන් තබාගෙන ඒ අතර සැඟව සිටි නිසා රඝුට ඔහු සිටිනා ස්ථානය සොයා ගැනීමට නොහැකි වුණා.

ප්‍රභාකරන්ගේ ප්‍රධාන ආරක්ෂක රඝුගේ මාර්ගයෙන් අපි  විශාල තොගයක් සොයාගත්තා. මෙසේ සොයාගත් ඒවා අතර ප්‍රභාකරන් පිරිහරණය කළ ඔහුගේ එච්. 16 වර්ගයේ  බොඩි ආමර්) ද තිබුණා. මේවා සොයාගත්තේ අවසන් කාලයේ  වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ සුරක්ෂිතව වළ දමා තිබියදීයි.  එම්. 16  අැමරිකාවේ නිෂ්පාදනයක්. මෙහි 004 යනුවෙන් සඳහන් කර තිබුණා.
ප්‍රභාකරන් පරිහරණය කර ඇති  බොඩි ආමර්  ඔහු වෙනුවෙන්ම නිෂ්පාදනය කර තිබූ එකක් බව අපට පෙනී ගියා. සාමාන්‍ය  අැඳුමකට හාත්පසින්ම වෙනස් ආකාරයට කන් දෙකේ සිට මුළු සිරුරම ආවරණය වන පරිදි එය සකස් කර තිබුණා.  පිත්තල උපයෝගී කරගෙන මෙය නිෂ්පාදනය කර තිබුණා. ඇඳුම් කට්ටල 88 ක් ද ​සොයා ගත්තා. අවසන් සටනේදී හමුදාවට යටත් නොවී කොටින්ට  බෙදා දීපු ඒවා බව රඝු අපට කිව්වා  යැයි ලෙව්කේ මහතා පැවැසීය.

එල්.ටී.ටී.ඊ. නායකයාට සිටි ප්‍රධාන ආරක්ෂක සෙල්වරාජා දේවකුමාර් හෙවත් රඝු අපට හඳුන්වා දුන්නේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා විසිනි.  ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග වසර ගණනාවක් මුළුල්ලේ සිට පවතින හිතවත්කම මත රඝු ඉරිදා ලංකාදීපය වෙනුවෙන් කතා බහ කිරීමට කැමැත්ත ප්‍රකාශ කළේය.

මුලතිව් ප්‍රදේශයේ දී අපි රඝු හමුවූයේ ලෙව්කේ මහතාගේ සම්බන්ධීකරණය අනුවය. රඝු ප්‍රභාකරන්ගේ ප්‍රධාන ආරක්ෂක ලෙස වසර ගණනාවක් සේවය කළා මිස ඔහු සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම හෝ හමුදාවට එරෙහිව සටන් කිරීමට ගොස් නොමැති බව මෙහිලා විශේ‍ෂයෙන් සඳහන් කළ යුතුය. යාපනය ප්‍රදේශයේ එළවළු කඩයක් පවත්වාගෙන යමින් රඝු බිරිඳ හා දරු දෙදෙනා නඩත්තු කරන්නේ බොහෝ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේය.

ප්‍රභාකරන්ගේ ප්‍රධාන ආරක්ෂකයා වූ රඝු පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන්නේ මුල්වරටය.

“මම ඉස්කෝලේ යන කාලයේ ඉන්දියන් හමුදාව අපේ ප්‍රදේශවල කඳවුරු බැඳගෙන සිටියා. මම ඉස්කෝලේ යනකොට ඉන්දියන් හමුදාවේ සෙබළුන් මට සිගරට් ගෙනත් දියන් කියා බල කරනවා. සිගරට් ගෙනත් දුන්නේ නැත්නම් ඉස්කෝලේ යන්න දෙන්නේ නැහැ කියා අවස්ථා ගණනාවකදීපහරදුන්නා. එතකොට මම හත්වැනි වසරේ ඉගෙන ගත්තේ. ඉන්දියන් හමුදාවේ සමහර සෙබළුන්ගෙන් වෙන හිරිහැර කරදර  නිසා පාසල් ගමන නතර කර දැම්මා. ඉස්කෝලෙට යන්න ඕන ඉන්දියන් හමුදා කඳවුර ළඟින්. වෙනත් පාරක් තිබුණේ නැහැ. පාසලට යන්න මේවා ගැන කියන කෙනෙක් හිටියේ නැහැ. අම්මයි තාත්තයි මේ නිසා අසරණ වුණා.

ඉන්දියන් සෙබළුන් කියන කියන වෙලාවට සිගරට් ගෙනත් දෙන්න වත්කමක් අපට තිබුණේ නැහැ. මට විතරක් නෙමේ ගමේ තවත් ළමයින්ට සිගරට් ගෙනත් දෙන්න කියා කිව්වා. සිගරට් ගේන්නේ නැතිව කඳවුර පාස් කරලා පාසලට යන්න බැරි නිසා සිගරට් නොගෙනාවොත් පහර දෙන නිසාත් ඒ බයට මම ඉස්කෝලේ ගමන නතර කර දැම්මා. මේ නිසා ඉන්දීය හමුදාව එක්ක ලොකුමවෛරයක්මගේ හිතේ ඇතිවුණා. මම ඉගෙන ගන්න දස්ස නිසා චුන්නාකම් ස්කන්ද ඕඩ මහා විද්‍යාලයේ තමා ඉගෙන ගත්තේ.

ඉස්කෝලේ ගමන නතර කරලා ගෙදරට වෙලා හිටියා. නිකම් ගෙදරට වෙලා ඉන්න එක ඒ වෙනකොටත් මට ඒපා වෙලා තිබුණේ. ඔහොම ගෙදරට වෙලා ඉන්න කාලයේ එල්.ටී.ටී.ඊ. එකට ළමයින් බඳවා ගන්නවා කියලා ආරංචි වුණා. මම ගෙදරින් පැනලා ගිහින් එල්.ටී.ටී.ඊ. එකට බැඳුණා. අවස්ථාවක් ලැබුණාම ඉන්දිය හමුදා සෙබළුන්ගෙන්පළිගන්න හිතාගෙන තමා මම එදා එල්.ටී.ටී.ඊයට බැඳුණේ.

එල්.ටී.ටී.ඊ. යට බැඳුණාට පස්සේ රඝු කියන නම මට ලබා දුන්නා. එදා ඉඳන් මාව හැඳුන්වූයේ රඝු කියන නමින්. ළමා සොල්දාදුවෙක් විදිහට පුහුණුවීම් ලැබුවාට පස්සේ එල්.ටී.ටී.ඊ. කඳවුර මුර කරන්න, බංකර් කපන්න, එල්.ටී.ටී.ඊ. කඳවුරුවලට කෑම බීම ගෙනියන වැඩ තමා ඒ කාලයේ අපට කරන්න සිද්ධවුණේ.

තරුණ වියට පත්වුණාට පස්සේ මම එල්.ටී.ටී.ඊ. කමාන්ඩෝ භටයෙක් විදියට පුහුණුවීමට තෝරාගත්තා. ඒ පුහුණුව හරිම දුෂ්කර හා කටුක එකක්. මාස 04 ක් කමාන්ඩෝ පුහුණුව ලබාගත්තා. එල්.ටී.ටී.ඊ. නායකයාගේ ආරක්ෂක භටයින් ලෙස පුහුණුවීමක් ලබාදෙන්න 750 ක විතර කට්ටියක් තෝරාගත්තා. කමාන්ඩෝ ට්‍රේනිං එකෙන් දක්ෂතා දක්වපු අය තමා වී.අයි.පී. ට්‍රේනින් එකට තෝරාගත්තේ. මස 4 ක් ඒ පුහුණුවීම් ලබා දුන්නා.

මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඒ කාලයේ පිහිටා තිබුණු කඳවුරකින් තමා ඒ පුහුණුවීම් අපි ලබාගත්තේ. පුහුණුවීම් අවසානයේ හොඳින් පුහුණුවීම් ලබාගත් මා ඇතුළු 100 දෙනෙක් පමණක් එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ ආරක්ෂක බළකායට තෝරාගත්තා.

ප්‍රභාකරන්ගේ ආරක්ෂක බළකායට තෝරාගත් අපි ගැන වෙනම එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ සොයා බැලුවා. අපේ පවුල්වල අය වෙනත් දෙමළ සංවිධාන එක්ක සම්බන්ධකම් පවත්වනවාද කියන එක බොහොම තදින්ම සොයා බැලුවා. ඒ වගේම අපි ගැනත් හොඳට සොයා බැලුවා. ඒ සොයා බැලීම්වලින් පස්සේ තමා ප්‍රභාකරන්ගේ ආරක්ෂක බළකායට බඳවා ගත්තේ. අපට දැඩි විනය නීති රීති මාලාවක් තිබුණා. මත්පැන්, සිගරට් බීම හා බුලත්විට කෑම සපුරා තහනම්.

මේවා හොරොන් හරි කරලා අහුවුණොත් මොකද කරන්නේ කියා මම විමසා සිටියේ රඝුගේ කතාවට බාධා කරමිනි.

ඔහු ලබාදුන් පිළිතුරෙන් අපි විස්මයට පත් වූයෙමු.  බීලාඑහෙම අහුවුණොත් ඔළුවට  තියලා නැති කරලා දානවා. ඩියුටි වෙලාවේ විතරක් නොමේ කොයිම වේලාවකවත් බොන්න ප්‍රභාකරන්ගේ ආරක්ෂකයින්ට සපුරා තහනම්. සිගරට්හා බුලත්විට කාලා අහුවුණොත් වෙනත් ෆනිස්ට්මන් දෙනවා.  දැන් ඉතින් ඔලුවට   තියන්න ප්‍රභාකරන් නැහැනේ. ඒ හින්දා ඔය වැඩ තුනම කරනවා යැයි රඝු කිව්වේ සිනාසෙමිනි. පැය හයක විතර කාලයක් අපි ඔහුත් සමග කතා බහේ නිරතව සිටිය අතර ඒ කාලය තුළ ඔහු බුලත් විට වරින්වර කෑවේය.

ඔහු යළිත් කතාව ඇරඹීය.

ප්‍රභාකරන්ගේ ආරක්ෂක බළකායේ 750 ක් පමණ සිටියා. ඒත් එක්වරකට 100 දෙනකු පමණ ඔහුගේ ආරක්ෂක කටයුතුවල යොදවනවා. විශේ‍ෂ අවස්ථාවක විතරයි සියලු දෙනා යොදවන්නේ. වන්නි මානුෂීය මෙහෙයුම පටන්ගත්තට පස්සේ 750 දෙනාම ආරක්ෂාවට යොදවා ගත්තා. ඔහුගේ ආරක්ෂකයින් බාරව සිටියේ මමයි. ඔහු ආරක්ෂා කර ගැනීමේ වගකීම මට තමා සම්පූර්ණයෙන් පැවරිලා තිබුණේ.

සුදු පැහැදි වෑන් රථ දෙකක් සහ පැජරෝ ජීප් රථයක් ප්‍රභාකරන් ගමන් බිමන් යන්න යොදවා ගන්නවා. මේ වාහන තුනම එක්වර ගමන් කරනවා. ප්‍රභාකරන් තමා අවසන් මොහොතේ ඒ වාහන තුනෙන් මොකේද යන්නේ කියලා තීරණය කරන්නේ. ඔහු කැමැති වාහනයකට නැග්ගාට පස්සෙ අනිත් වාහන දෙකත් පස්සෙන් යනවා. යන එන තැන ඔහු අපටවත් කියන්නේ නැහැ. ඔහු යන පස්සෙන් අපි යනවා.

ඔහුගේ ආරක්ෂක සැලසුම් හැදුවේ ප්‍රභාකරන් විසින්මයි. එල්.ටී.ටී.ඊ. එකේ නායකයෝ මොනවිදිහේ ආරක්ෂක සැලසුම් හදලා දුන්නත් ඒ සැලසුම් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කළේ නැහැ. ඔහු හදාගත් සැලසුම ඔහු විසින් ක්‍රියාත්මක කළා. වෙනත් අයගේ ආරක්ෂක සැලසුම් ඔහු විශ්‍වාස කළේ නැහැ.
පසු කාලයක මාව ප්‍රභාකරන් ඔහුගේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස පත්කළා. ඔහුට මා ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මා ඔහු වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම් බව දැනගෙන හිටියා. අපි දෙන්නා අතර හොඳ අවබෝධයක් තිබුණා.

මගේ මතකයේ හැටියට මේ සිද්ධිය වුණේ 2004 වසරේ. ඒ වෙනකොට මම ප්‍රභාකරන්ගේ ප්‍රධාන ආරක්ෂකයා. ප්‍රභාකරන් පැජරෝ ජීප් එකෙන් යනවා. ඔහුට ආරක්ෂාව සලසමින් සුදු පැහැති ඩොල්පින් වෑන් රථ දෙකෙන් ගමන් කරමින් සිටියා. පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය පසුකර යමින් සිටියදී ප්‍රභාකරන් ගමන් ගත් පැජරෝ ජීප් රථය හදිසියේම ගිනි ගැනීමට ලක්වුණා.

මම හිටියේ ප්‍රභාකරන් ගමන්ගත් ජීප් රථයේ. ගින්න හටගත් ගමන්ම ජීප් රථය නතර කළා. මම වහා ක්‍රියාත්මක වී ගිනි දැල් අතරින් ප්‍රභාකරන් එළියට ගත්තා. එළියට ගත්ත ගමන් පිටුපසින් ආ වෑන් රථයක දමා ගත්තා. ජීප් එකට ගින්නෙන් හානි වෙලා තිබුණා. එදා ප්‍රභාකරන් නොපිලිස්සී බේරුණේ අනූනවයෙන්.
මේ සිද්ධියෙන් ප්‍රභාකරන් භය වුණාද..? මම ඇසීමි.

අපෝ නැහැ. ඔහු බය වුණේ නැහැ. තැතිගැන්මකටවත් ලක්වුණේ නැහැ. සිනාවෙමින් ගිහින් වෑන් එකට නැග්ගා. කිසිම කතා බහක් නැතිව ඔහුට ඕනෑ ගමන ගියා. හැබැයි මේ හදිසි ගිනි ගැනීම ගැන කොටි බුද්ධි අංශ සාමාජිකයින් කොටි පොලිසි යොදවා පරීක්ෂණයක් කළා. මෝටර් රථ කාර්මික ශිල්පීන් කණ්‍ඩායමක් කළ පරීක්ෂණයකින් කාර්මික ​දෝෂයක් නිසා මෙම ගිනි ගැනීම සිදුවූ බව ඒ පරීක්ෂණයෙන් හෙළිවුණා. කොටි පොලිසිය හා බුද්ධි අංශ කළේ මෙය ප්‍රභාකරන්ගේ ජීවිතයට හානි කිරීමට හිතා මතා කළ දෙයක්ද යන්න සොයා බැලීමයි. නමුත් එහෙම දෙයක් නොවන බව පරීක්ෂණවලින් තහවුරු වුණා.

1987 වසරේ පැවැති වඩමාරච්චි මෙහෙයුමේදී ආරක්ෂක අංශ ප්‍රභාකරන් අල්ලාගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී ඉන්දියාවේ මැදිහත්වීම නිසා එය කර ගැනීමට නොහැකිවූ බව ප්‍රභාකරන් අපිත් එක්ක කියා තිබුණා.

ප්‍රභාකරන් ගමන්ගත් පැජරෝ ජීප් රථය ඉලක්ක කරගනිමින් හමුදාවේ දිග දුර විහිදුම් බළකායේ ​සෙබළුන් දෙතුන් දෙනෙක් ච අටවා 2001 වසරේ පුපුරුවා හැර තිබෙනවා. එයින් ඔහුගේ ආරක්ෂකයෙක් මිය ගියා. නමුත් එදා ඒ ජීප් රථයේ ප්‍රභාකරන් හිටියේ නැහැ යැයි රඝු පැවසීය.

ප්‍රභාකරන්ගේ ආහාර වේල ගැනද විමසීමට අමතක නොකළෙමු.

“ප්‍රභාකරන්ට කෑම බීම හදන්න කෝකියෝ තුන් දෙනෙක් හිටියා. ඔවුන් උයන කෑම ප්‍රභාකරන්ට කන්න දෙන්න කලින් ඔහුගේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස මුලින්ම කන්නේ මම. මම උයන කෑම වලින් ටික ටික කනවා. මම කාලා පැය 1/2 කට පස්සේ තමා ප්‍රභාකරන් කන්නේ. කිසියම් දෙයක්දාලා තිබෙනවාද කියා බලන්න තමා එහෙම කරන්නේ. ඒ තරමට ප්‍රභාකරන් එයාගේ ජීවිතය ගැන හිතුවා.

ඊළාම් රාජ්‍යයක් දිනා ගැනීමේ සටනට නායකත්වය දෙන්න තමා ජීවතුන් අතර සිටිය යුතු බව ප්‍රභාකරන් නිතර කිව්වා. අන්න ඒ නිසා තමා ඔහු නිතරම පරිස්සම් වෙන්න වග බලාගත්තේ. රඝු පවසන ආකාරයට හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ සෙබළුන් කොටි පාලන අඩවිවලට රිංගා කොටි ඉලක්ක කර   පටන් ගැනීම නිසා ප්‍රභාකරන් ඇතුළු ​කොටි නායකයන් පසුවී ඇත්තේ ඉමහත් බියට පත්වය.

කොයි මොහොතක දිගු දුර විහිදුම් බළකායේ සෙබළුන්ගේ ඉලක්කයක් වෙතැයි සිතා ප්‍රභාකරන් ඇතුළු ඉහළ පෙළේ කොටි නායකයින් ඔවුන්ගේ ගමන් බිමන් පවා සීමා කළ බව රඝු අප සමග කියා සිටියේය. ප්‍රභාකරන් නිතර යන පුදුකුඩිඉරිප්පුවේ අතුරු මාර්ගයක  වළ දමා ඔහු නැති කර  දමන්න සැලසුම් කරලා තිබුණා. මේ වැඩේ කරන්න උත්සාහ කළේ කවුද කියන එක සොයා ගන්න බැරිව ගියා. ;

 

ඉරිදා ල0කාදිපය
සටහන : ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය |  ඡායාරූපය : චානුක කුලසේකර

No comments

Powered by Blogger.