නරියෙකුගේ පහරකෑමෙන් දැරියක ජීවිතක්ෂයට
නරියෙකු පහරදීමෙන් ඇති වූ සිරීම් හේතුවෙන් 'රෝගී වූ අඟුරුවාතොට මුවපට්ටියවත්ත ගම්මානයේ වයස අවු 08ක පාසල් සිසුවියක හොරණ මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව පෙරේදා (09දා) මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලීසිය පවසයි.
හොරණ නිචිචැටල් දෙමළ විද්‍යාලයේ 03 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කවිනි නෙත්සරා නම් සිසුවියක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
මීට මාසයකට පමණ ඉහත දී මෙම ප්‍රදේශයේ දී නරියකුගේ සපා කෑමෙන් පසු 57 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් ඇති අතර එදිනම නරියා විසින් මෙම දරුවා පසුපස එළවා ගෙනයාමේදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇත.
කෙසේ වෙතත් නරියාගෙන් බේරීමට කළ උත්සාහයේදී දරුවා සුළු සීරීම්වලට ලක්ව ඇති බවත් එම සත්වයාගේ ඛේටය මෙම දරුවාගේ ශරිරයේ තැවරෙන්නට ඇති බවත් සෞඛ්‍ය අංශ සැක පළ කරයි. සිද්ධියෙන් මසකට පමණ පසුව මෙම දැරිය නිවසේ දී රෝගීවීමෙන් අනතුරුව හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගී තත්වය උත්සන්නවීමෙන් පසු පෙරේදා (09දා) මියගොස් ඇත.
දැරියගේ මරණ පරීක්ෂණය හොරණ හදිසි මරණ පරික්ෂක සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ පවත්වන ලද අතර වැඩිදුර පරීක්ෂණ සඳහා දරුවාගේ ශරීරයේ කොටස් බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කර ඇත.
- මංගල එදිරිසිංහ -
Leave a Comment