‘‘අනේ බුදු සර්….. මට යන්න දෙන්න මම මේ වැරදි වැඬේ කරන්නෙ මගේ පවුල රකින්නයි. මගේ අසරණ කෙල්ලො දෙන්නට උගන්නන්නයි. අනේ බුදු සර් මට යන්න දෙන්න. පිං සිද්ධ වෙනවා බුදු මහත්තයෝ’’ - lankaenewsGossip

‘‘අනේ බුදු සර්….. මට යන්න දෙන්න මම මේ වැරදි වැඬේ කරන්නෙ මගේ පවුල රකින්නයි. මගේ අසරණ කෙල්ලො දෙන්නට උගන්නන්නයි. අනේ බුදු සර් මට යන්න දෙන්න. පිං සිද්ධ වෙනවා බුදු මහත්තයෝ’’

මීට වසර කිහිපයකට පෙර ඇය සතුව පැවැති පංච කල්‍යාණය දැන් දැන් ඇය වෙතින් මඳින් මඳ පහව යමින් පවතින බව කිව මනාය. මඳක් දුර්වර්ණව ගිය ගවොමකින් සැරසී ගත් ඇගේ වයස හතළිහ ඉක්මවා ඇතැයි මට සිතේ. එක් අතක කුඩයකි. කරේ අබලන් බෑගයකි. දෙපයේ රබර් සෙරෙප්පු කුට්ටමකි.

ඕ නගරයේ බස් නැවතුම්පළෙහි නිරතුරුව දක්නට ලැබිණි.

ඇය කුමන රැකියාවක යෙදෙන්නියක්දැයි අනුමාන කිරීමට මෙම වදන් පෙළ හොඳටම ප‍්‍රමාණවත් යැයි සිතමි. ඔබ නිවැරැුදිය. ලොව පැරැණිම වෘත්තියෙහි යෙදෙන්නියකි, ඕ.

ඇය එම විසල් බස් නැවතුමෙහි එක තැනක රැඳී සිටින්නේ නැත. මුළු බස් නැවතුම්පළ සිසාරා සිය උකුසු ඇස් යවමින් ඕ තැනින් තැනට ගමන් කරන්නීය. රටකජු, ටොෆි චොකලට් ලොතරැුයිපත් ආදිය අලෙවි කරන සංචාරක වෙළෙඳුන් කිහිපදෙනෙකු එකතැන්ව කථා කරමින් සිටි ස්ථානයකට ඇය සිනාසෙමින් ආවාය.

‘‘මොකෝ නෙඟා්… අද තවම නැද්ද වාසියක්?’’ එක් මැදිවියේ වෙළෙන්දෙක් සිනාසෙමින් පහත් හඬින් ඇය ඇමතුවේය.

‘‘දොළහටත් ළඟයි. තාම හිස්බඩමයි. අද හවස් වෙන්න කලින් කොහොමහරි තුන්දාහක් හොයාගන්න ඕන.’’ ඕ දුක්මුසු ස්වරයෙන් කීවාය.

‘‘අපි ඔය කර්මාන්තෙ කරන්නෙ නෑනෙ. නැත්නම් උඹට සප් එකක් දෙන්න බැරියෑ.’’ තවත් තරුණ වෙළෙන්දෙක් සිනාසෙමින් කීවේය.

රටකජු වෙළෙන්දෙක් ඇයට රටකජු ගොටුවක් දිගු කළේය. ඇය ඔහුට කෘතවේදීව එය අතට ගෙන ඉන් ඇට කිහිපයක් මුවට දමා ගත්තාය.

බස් නැවතුම්පළේ ඈත කෙළවරේ සිටි තරුණයෙක් තමාට අතින් සන් කරන අයුරු දුටු ඕ කඩිනම් ගමනින් එදෙසට පියවර මැන්නාය.

‘‘නෙඟා්… දැන් ආණ්ඩුවෙන් බදු අඩු කරලයි තියෙන්නේ. අර වෙනදා ගනිපු ගාන ගන්න එපා’’ තරුණ වෙළෙන්දා උස් හඬින් කීවේය.

‘‘පව් බං ඒකි ඔය වැඬේ කරන්නේ කිසිම කැමැත්තකින් නෙවෙයි. පවුලක් නඩත්තු කරන්නනේ. සමහර දවස්වලට ගෙදර යන්න බස් ගාස්තුව නෑ. මගෙන් රුපියල් හතළිහක් ඉල්ලාගෙන ගිය දවස් ගණන එමටයි. හැබැයි හිත හොඳ අවංක ගෑනි. වැඩක් ලැබුණු ගමන්ම පොලියත් එක්ක රුපියල් පනහක් ගෙනැල්ලා දෙනවා’’ මැදිවියේ ලොතරැුයි වෙළෙන්දා අනුකම්පා සහගත ස්වරයෙන් කීවේය.

‘‘යාන්තම් වැඩක් අහුවුණා වගෙයි’’ ත‍්‍රීවීලරයක නැඟී නික්ම යන ඕ දකිමින් තවත් වෙළෙන්දෙක් කීවේය.

‘‘මම ඒකිට කස්ටමර්ස්ලා ගණනාවක් අල්ලලා දුන්නා. අපරාදෙ කියන්න බෑ ගමන ගිහිං ආපු ගමන් ආ මල්ලී මේක තියාගනිං කියල රුපියල් සීයක් දෙසීයක් දෙනවා’’ තරුණ වෙළෙන්දෙක් කීවේය.

‘‘ ඕක මහා අවදානම් කර්මාන්තයක් නෙව. ලෙඩක් එහෙම හැදුනොත් වහ කන්න තමයි සිද්ධ වෙන්නේ’’ තවත් වෙළෙන්දෙක් කීවේය.

‘‘ඒකී බබෙක්යෑ. මේ උඹලට අපට වඩා ඒකි යමක් කමක් දන්නවා. මම දන්න විදියට දැන් අවුරුදු හතරක් විතර වෙනවා. ඔය අගේට කරගෙන යන්නේ’’ මැදිවියේ වෙළෙන්දා කීවේය.

පසුදින රජයේ නිවාඩු දිනයක් වූයෙන් බස් නැවතුම්පළ තරමක පාළු ස්වභාවයක් පළ කළේය. එහෙත් ඇය එදිනද පාන්දරම සිය රැුකියාවට වාර්තා කැර සිටිනු දක්නා ලදී.

ඈත පාළු කෙළවරක සිටි තරුණයෙක් ඇයට අත වැනුවේය. ඕ ඒ දෙසට පියවර මැන්නාය.

‘‘අක්කෙ … ඔයා කීයක් අය කරනවද? තරුණයා වටපිට බලමින් පහත් හඬින් ඇසුවේය.

‘‘දෙදහස් පන්සියක්ගන්නවා මල්ලී’’ ඕ පියකරු ලෙස සිනාසෙමින් කීවාය.

‘‘කොච්චර වෙලා ඉන්නවද?’’ හේ ඇසීය.

‘‘පැය දෙකක් දෙකහමාරක් ඉන්නම්. මට දොළහට කස්ටමර් කෙනෙක් එනවා. ඊට කලින් එන්න ඕන.’’ ඇය කීවාය.

‘‘හ්ම්… මගේ පස්සෙන් එන්න. මම නඟින ත‍්‍රීවීලරේට නඟින්න’’ ඔහු කීවේය.

‘‘කොයිබටද යන්නේ?’’ ඕ ඇසුවාය.

‘‘අහවල් හෝටලේට’’ ඔහු කීවේය. ඕ හිස සලා ඊට කැමැත්ත පළ කළෙන් තරුණයා නික්මුණේය.

ඇය ඔහු අනුගමනය කළාය.

දෙදෙනා රැගත් ත‍්‍රීවීලරය කිලෝමීටරයක් හමාරක් පමණ දුරක පිහිටි එක්තරා හෝටලයකට පැමිණියේය. ‘‘ අපට රූම් එකක් දෙන්න’’ තරුණයා පිළිගැනීමේ නිලධාරිනිය වෙත යමින් කීවේය.

‘‘එක්දාස් පන්සීයක් දෙන්න සර්’’ ඇය කීවෙන් ඔහු තම මුදල් පසුම්බිය ගෙන ඉන් මුදල් නෝට්ටු දෙකක් ඉවතට ගෙන ඒවා ඇයට දිගු කළේය.

‘‘තැන්ක් යූ සර්… උඩ තට්ටුවෙ රූම් නම්බර් ෆිෆ්ටි ටූ’’ ඕ ඔහුට යතුරක් දිගුකරමින් කීවාය.

දෙදෙනා ඉහළ මාලයට නැඟ අදාළ කාමරයට පිවිස දොර වසා ගත්හ.

‘‘වොෂ් එකක් දාගෙන එන්න’’ ඔහු ඇයට නාන කාමරය පෙන්වමින් කීවේය.

‘‘මොන වොෂ්ද මල්ලි? මම හැමදාම උදේට හොඳට නාලයි බස් ස්ටෑන්ඞ් එකට එන්නේ.’’ ඕ තරුණයාගේ බඳ වටා සිය සුරත යවමින් කීවාය.

‘‘එහෙමද? ඔයා ඉන්න මම ටක් ගාලා වොෂ් එකක් දාගෙන එන්නම්’’ කී ඔහු නාන කාමරයට වැද දොර වසා ගත්තේය.

සිය ජංගම දුරකථනය අතට ගත් හෙතෙම කාටදෝ කෙටි පණිවුඩයක් ටයිප් කැර අදාළ අංකයට එය මුදාහළේය. සිය කමීසය ගලවා මුව කට දොවා ගත් ඔහු එහි තිබූ තුවායෙන් මුහුණ පිස දමමින් සිය කමිසය ද අතින් ගෙන කාමරයට ආවේය.

ඇය සිය උඩ ඇඳුම් ගලවා අඩ නිරුවතින් ඇඳ මත වැතිර සිටියාය.

‘‘ආ ඔයා ලෑස්තිත් වෙලා’’ ඇය දකිමින් ඔහු සිනාසෙමින් කීවේය.

‘‘ඔව් මල්ලී. මට එකොළහමාරට මෙහෙන් යන්න ඕන. ටිකක් ඉක්මන් කරන්න’’ ඕ කීවාය.

‘‘අපෝ දෙසැරයක් යන්න පුළුවන්. අක්කගෙ නම මොකක්ද? ගම කොහේද?’’ ඔහු ඉවත බලාගෙන ඇසුවේය.

‘‘කවුද මල්ලී කස්ටමර්ට නම ගම කියන්නේ?’’ ඕ සිනාසෙමින් ඇසුවාය.

‘‘හස්බන්ඞ් මොනවද කරන්නේ. ළමයි ඉන්නවද?’’ ඔහු යළිත් ඇසීය.

‘‘අපි ආපු වැඬේට ඔය මොකවත් අදාළ නැහැනෙ. මට දෙන්න සල්ලි’’ ඕ ඇඳෙන් නැගිට ඔහු වෙතට එමින් කීවාය.

ඔහු පොරොන්දු මුදල ඇයට දුන්නේය. ඇය එය සිය බෑගය තුළට දමා ඔහු වෙත පැමිණ ඔහුගේ බඳ වටා සිය සුරත දමා යහන වෙතට ඇද්දාය.

‘‘ටිකක් ඉන්න කලබල නැතුව. ගැටිස්සි කාලෙ ගිනි කිරිල්ලි වගේ ඉන්න ඇති නේද?. දැන් උනත් බොහොම ලස්සනයි. දෙදාස් පන්සීයක් නොවටින්නෙ නෑ.’’ ඔහු ඇගේ අත ඉවත් කරමින් මඳක් මෑත් වෙමින් කීවේය.

‘‘එන්න මල්ලී… ඉක්මන් කරන්න.’’ ඕ යළිත් ඇඳ මත වැතිරෙමින් කීවාය.

‘‘කලබල නැතිව ඉන්නකෝ. තව පැය දෙකක් විතර තියෙනවානේ.’’ තරුණයා සිය කමිසය අඳිමින් කිවේය.

‘‘වෙන කස්ටමර්ස්ලාට නම් හරිම හදිසියි. කාමරේට එන්නත් කලින් පටන් ගන්නවා. එකෙක් මගේ සායත් ඉරුවා කලබලේට. ඒකට මෙයා’’ ඇය නොරිස්සුම් ස්වරයෙන් කීවාය.

‘‘ටක් ටක් ටක්’’ කවුදෝ දොරට තට්ටු කරන හඬකි. ‘දොර අරින්න කරුණාකරලා. අපි පොලිසියෙන්’’ ඒ සමඟම ඇසිණි.

අතිශය බියට පත් ඕ ක්‍ෂණයෙන් ඇඳෙන් බිමට පැන සිය ගවොම හැඳගත්තාය. ඒ සමගම පොලිස් නිලධාරීන් තිදෙනෙක් හා නිලධාරිනියන් දෙදෙනෙක් කාමරයට ඇතුළුවූහ.

‘‘වෙල්ඩන් ප‍්‍රියන්ත’’ ඔවුන් අතර සිටි ප‍්‍රධානියා කාමරයේ සිටි තරුණයාට කෘතවේදීව පවසමින් ‘‘මෙයාව ගන්න’’ යනුවෙන් තමන් සමඟ පැමිණි නිලධාරිනියන් දෙදෙනාට අණ කළේය.

‘‘අනේ බුදු සර්….. මට යන්න දෙන්න මම මේ වැරදි වැඬේ කරන්නෙ මගේ පවුල රකින්නයි. මගේ අසරණ කෙල්ලො දෙන්නට උගන්නන්නයි. අනේ බුදු සර් මට යන්න දෙන්න. පිං සිද්ධ වෙනවා බුදු මහත්තයෝ’’ ඇය ප‍්‍රධානියාගේ දෙපා මුල ඇද වැටෙමින් මහ හඬින් හඬමින් කීවාය.

‘‘වැරදි වැඬේ කරලා අහුඋනාම තමයි වැරදි වැඬේ කළා කියල වැඳ වැටෙන්නෙ.

ගන්න මෙයා’’ පොලිස් ප‍්‍රධානියා කීවෙන් නිලධාරිනියන් දෙදෙනා ඇය අල්ලාගෙන එළියට රැුගෙන විත් ජීප් රියට නැංවූහ.

ඇය ජීප් රිය තුළ මඟ දිගටම මහ හඬින් හඬමින් වැලපෙමින් සිටියාය.

පොලිසිය වෙත ගෙන එන ලදුව ඇය මහ හඬින් වැලපෙමින් දිවගොස් ස්ථානාධිපතිවරයාගේ දෙපාමුල වැඳ වැටුණාය. ‘‘අනේ බුදු සර්…. මම කියන දේ අහන්න. මගේ මිනිහා හොඳ රස්සාවක් කළා. ඒ කාලෙ අපට කිසිම දේකින් අඩුවක් තිබුණෙ නෑ. ඇක්සිඩන්ට් එකක් වෙලා මාස අටක් ඉස්පිරිතාලෙ ඉඳලා කිහිලිකරුවලින් තමයි ගෙදර ආවෙ. දැන් එයා ඇඳේම තමයි. තමන්ගෙ වැඩවත් කරගන්න බෑ.

මගේ කෙල්ලො දෙන්නා ගමේ ඉස්කෝලෙන් පහේ ශිෂ්‍යත්ව විභාගෙ ඉහළින්ම පාස් වෙලා දැන් අහවල් බාලිකාවෙ ඉගෙන ගන්නෙ. ලොකු කෙල්ල ගියපාර ඒ නවයක් අරගෙන සාමාන්‍ය පෙළ පාස්වුණා. දැන් උසස් පෙළ බයෝ කරන්නේ. එයා එක පාරෙන්ම මෙඩිකල් කොලේජ් යාවි කියල ගුරුවරු කියනවා. බාල කෙල්ල මේ දෙසැම්බරේ සාමාන්‍ය පෙළ ලියනවා. එයා ලොකු කෙල්ලටත් වඩා දක්‍ෂයි කියලා ගුරුවරු කියනවා. මම මේ ජරා වැඬේ අකැමැත්තෙන් වුණත් කරන්නෙ උන් දෙන්නගෙ ඇස් පාදන්න. අනේ බුදු මහත්තයෝ දැන් දොළහට ලොකු කෙල්ල බස් ස්ටෑන්ඞ් එකට එනවා පංති යන්න. මම ඒකිට සල්ලි දෙන්න ඕන පංතියට දෙන්න. මම දොළහට බස් ස්ටෑන්ඞ් එකේ නොහිටියොත් හරිම අමාරුවක වැටෙනවා. ආපහු ගෙදර යන්නවත් සල්ලි නෑ ඇගේ අතේ.

අනේ බුදු මහත්තයෝ ඔබතුමා බුදු වෙනවා මට යන්න දෙන්න හතර දෙනා එක්ක වහ කාලා මැරුණත් මේ ජරා වැඬේ නම් ආපහු කරන්නෙ නෑ. බුදු මහත්තයෝ මට යන්න දෙන්න. මිනිහා අබ්බගාත උනාට පස්සේ මම ගෙදරම පුංචි කඩයක් දාගෙන පොඩි වෙළෙඳාමක් කළා. ගමේ උන්ට ණයට දීලා ඒක බංකොලොත් උනා. උන්ගෙන් ණය ඉල්ලූවාම උන් මහ රෑ කඬේට ගිනි තිබ්බා. ඒ පාර තමයි බුදු මහත්තයෝ මේ රස්සාවට වැටුණේ. අනේ බුදු මහත්තයෝ මට යන්න දෙන්න. ඔබතුමා බුදු වෙනවා.’’ ඇය නොනවත්වාම කියාගෙන කියාගෙන ගියාය.

‘‘එළියෙන් ඉන්නවා මම කථා කරන තුරු’’ ස්ථානාධිපතිවරයා ඇයට කීවේය.

එකෙණෙහිම පොලිස් නිලධාරිනියක් ස්ථානාධිපතිගේ කාර්යාලයට ඇතුළු වූවාය.

‘‘සර්….. ඒ ගෑනි කියන කතාව සම්පූර්ණ ඇත්ත සර්. ඒ ලොකු ළමයා ඉගෙන ගන්නෙ මගේ දුවගෙ පංතියෙමයි. දුව ගෙදර ඇවිත් ඒ ළමයා ගැන හැම දෙයක්ම කියනවා. මාර බ‍්‍රයිට් කෙල්ල. ෆස්ට් ෂයි එකෙන්ම ඒ තුනක් අරගෙන මෙඩිකල් කොලේජ් යාවි සර්… බාල ළමයා එයාටත් වැඩිය බ‍්‍රයිට්. බොහොම අඩුපාඩුකම් තියෙනවලූ. සමහර දවස්වලට උදේට කන්නවත් නැතිවලූ ඉස්කෝලෙ එන්නේ. යාළුවො තමයි එයාලටත් එක්ක කෑම ගේන්නෙ. අනේ සර්…. ඔන්න ඔය ගෑනිට යන්න දෙන්න’’ නිලධාරිනිය සිය ප‍්‍රධානියාට කීවාය.

ස්ථානාධිපතිවරයා ඉවත බලාගෙන මොහොතක් කල්පනා කළේය. ඇය කළේ බලවත් වරදකි. එහෙත් ඇයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම ඔහුගේ හෘදය සාක්‍ෂියට එකඟ නැත.

‘‘එන්න කියන්න එයාට’’ අවසන හේ නිලධාරිනියට කීවේය.

‘‘අනේ බුදු මහත්තයෝ… මට යන්න දෙන්න. ඔබතුමා බුදු වෙනවා’’ ඇය හඬමින් ඔහුට වැඳ වැටුණාය.

‘‘ආයෙමත් ඔය වැරදි වැඬේ කරලා මට අහුවෙන්න එපා. මම හොඳට සෝදිසියෙන් ඉන්නෙ. ආයෙ නම් මගෙන් කිසිම සමාවක් නෑ. හොඳට මතක තියාගන්නව’’ ස්ථානාධිපතිවරයා ඇයට දැඩි ලෙස කීවේය.

‘‘නෑ…. නෑ… බුදුමහත්තයෝ… ආයෙ නම් ඒ ගැන හිතන්නෙවත් නෑ.’’ ඇය ස්ථානාධිපතිවරයාට දණගසා වඳිමින් කීවාය.

‘‘තමා ඔය කරන රස්සාව තමුන්ගෙ දූලා දෙන්නා දන්නවද?’’ ස්ථානාධිපතිවරයා ඇසීය.

‘‘අනේ බුදු මහත්තයෝ දන්නවා ඇති. උන් දෙන්නා කිසිම දවසක මගෙන් අහලා නෑ අම්මා මොකද කරන්නේ? අම්මට සල්ලි කොයින්ද කියලා’’ ඇය කීවාය.

‘‘සල්ලි ලැබුණ වුණාට ඕක බොහොම භයානක රස්සාවක්. එක පැත්තකින් නීතිය. ඒකෙන් නම් බේරෙන්න පුළුවන් කියමුකො. ඒඞ්ස් වගේ මාරාන්තික ලෙඩවලින් බේරෙන්න බැරි බව තමා දන්නවද?’’ ස්ථානාධිපතිවරයා අසද්දී ඕ බිම බලාගෙන නිහඬව සිටියාය.

‘‘හ්ම්… යනවා’’ අවසන හේ කීවේය.

ඇය ඔහුට කෘතවේදී බැල්මක් හෙළා එළියට බැස්සාය.

‘‘අපි මොන තරම් මහන්සි වෙලාද ඔය ගෑනි ඇල්ලූවේ. අන්න ලොක්ක ඒ ගෑනිට යන්න දීලා’’ වැටලීමට සම්බන්ධ වූ නිලධාරියෙක් තමා අසල සිටි නිලධාරියකුට පහත් හඬින් කීවේය.

කේ. ඩබ්ලිව් ගුණවර්ධන

(ප‍්‍රබන්ධයක් නොවේ. සියයට සියයක් සත්‍ය සිදුවීමකි. නගරය සඳහන් නොකරන්නේ එම යහපත් නිලධාරියාහට ඉහළ නිලධාරීන්ගෙන් යම් වරදක් සිදුවෙතැයි සිතන නිසාය.)

Source – දිවයින

1 comment:

  1. Jivite api katat akama eranama epadima jivat vima miya Yama amma kenek tamange daruvo rakinna nokara na deyak nata sadaranaya ta edak nathi kala eyage jivitayada paraduvata tbanne daruvo nisa amma mihipita deviya ya varadak nokiyami ayat gahaniyak mat gahaniyak Mata da varadinna eda tibe daivaya a

    ReplyDelete

Powered by Blogger.